top of page

නාගදීප රජමහා විහාරය

නයිනතිවු, ශ්‍රී ලංකාව

නාගදීප පුරාණ රජමහා විහාරය ශ්‍රිලාංකික බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවු අතිපුජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි. බුද්ධ වර්ෂ පළමු වන සියවසේ පටන් වන්දනාකරුවන් විසින් නාගදීපයේ පිහිටි පුරාණ රාජායතන චෛත්‍ය  වැදපුදා ගැනිමට පැමිණි බවට වාර්තා ඇත.
 
මිණිපළගක අයිතිය මුල්කරගෙන චුලෝදර හා මහෝදර නාරජුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමතයකට පත් කිරිම පිණිස බුද්ධත්වයෙන් පස්වන වසරෙහි බක් මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකා ගමනයයි. යුද්ධය පැවති ස්ථානයට වැඩමකොට උන්වහන්සේ  අහසෙහි වැඩ හිද බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසුහ. එයින් සතුටට පත් නාගයෝ ගැටුමට මුල්වු මිණිපළග(මැණික් පුටුව) බුදුරජුන් හට පිදුහ. උන්වහන්සේ වැඩ සිටිමෙන් පාරිභෝගික වස්තුවක් බවට පත්වු මිණිපළග නැවතත් නාරජුන් වෙත පිරිනැමුණු අතර පසුව ඔවුන් විසින් එය තැන්පත් කොට රාජායතන චෛත්‍ය ගොඩනගන ලදී. දේවානම් පියතිස්ස දුටුගැමුණු රජසමයන්හිදී නාගදීප රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට මනාව සංවර්ධනය වු පූජනීය ස්ථානයක් බවට පත් කරන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි පාලන සමයන්හිදී මුහුදු බඩ ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරිමත් සමගම නාගදීප විහාරස්ථානයද විනාශයට පත්කෙරුණු අතර  දිර්ඝ කාලයක් පුරා බෞද්ධ ජනතාවට එය වැදපුදා ගැනීමේ භාග්‍ය අහිමි විය.
 
වර්ෂ 1931දී අම්බලන්ගොඩ සෝමසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේ නාගදීපයට වැඩම කොට රාජායතන චෛත්‍යයෙහි නටඹුන් හා කිරිපලු නුගරුක දැක මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේ වැඩහිද ධර්ම දේශනා කළ මිණිපළග නැත්පත් කොට ඉදිකරන ලද රාජායතන චෛත්‍ය පිහිටි ස්ථානය බව තහවුරු කොට ගෙන පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන් ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාව සදහා නැවත වන්දනා කිරිමේ භාග්‍යය උදා කර දෙන ලදි.
 
අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අමරපුර මහා නිකායේ මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ ශිෂ්‍ය, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ නාගදීප පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරයි.
 
ශ්‍රිලංකාවේ විවිධ ජනවර්ගීන් අතර සුසංගමය ඔපනංවන්නාවු ප්‍රකට නිදසුනක් වු නාගදීප පුරාණ රජමහා විහාරය විවිධ වකවානු වලදී  වැඩිදියුණු කෙරුණු අතර වර්තමානයේදී එය සැදැහැවත් බෞද්ධයන්ගේ අතිපුජනීය වන්දනා ස්ථානයක් බවට පත්වී ඇත.

නාග ගෝත්‍රය

නාග ජනතාව වූ කලි බුද්ධ වර්ෂ 6 වන ශතවර්ෂයේ සිට බුද්ධ වර්ෂ 3 වන ශතවර්ෂය දක්වා වු කාලවකවානුව තුළ ලංකා දීපයෙහි බස්නාහිර සහ උතුරු මුහුදු බඩ ප්‍රදේශ අයත් යාපන අර්ධද්වීපය පාලනය කළ ආදීවාසී ජන කොට්ඨාසයකි. නාග වන්දනාවෙහි යෙදුණු මොවුන් “නාගයන්” හෝ “සර්පයන්” යන අරුතින් “නක” සහ “නාග” යනුවේන් තමන් හදුන්වා ගත්හ.

 

මහා වංශයෙහි දක්වා ඇති පරිදි නාගයන්වූ කලි සාමාන්‍ය ස්වරූපය සර්පයෙකු වූ නමුත් තමන්ට අවශ්‍ය පරිදි මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිය හැකි ජීවීන් කොට්ඨාසයකි. තවද චුලෝදර නම් වු නාරජෙකු පාලනය කළ වඩුන්නාගල (කල්පිටිය) මහෝදර නාරජුන් පාලනය කළ සමූද්‍ර නාග භවන (නාගදීපය) සහ මණිඅක්ඛිත නාරජුන් පාලනය කළ කැළණි (කැළණිය) යනුවෙන් ප්‍රධාන නාග රාජධානි තුනක් පැවති අතර ඔවුන් වෙන වෙනම රාජ්‍ය පාලනය කරමින් වාසය කළ බවට සදහන් වී ඇත.

bottom of page