top of page

නාගදීප පුරාවිද්‍යාව

  • නාගදීපයෙන් සොයා ගන්නා ලද ශෛලමය බුද්ධ ප්‍රතිමාව

arch02.jpg

ලංකාවේ වෙනත් බුද්ධ ප්‍රතිමා වල දක්නට නොලැබෙන ශෛලියකින් නිමවා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව නාගදීපයෙන් සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරාවස්තුවකි.

 

විහාරස්ථානයේ ආවාස ගෙය තැනීම සදහා අත්තිවාරම කැපීමේදී මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයාගන්නා ලදි. ද්‍රවිඩ පුජනිය කාව්‍ය ග්‍රන්ථයක් වන මණිමේකලෛ  හි සදහන් පරිදි මණීමේඛලාව පැමිණි ස්ථානය මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයාගන්නා ලද ස්ථානය වන අතර ඈත අතීතයේ සිට මේ දක්වා මෙම භුමිය බුද්ධ වලව්ව ලෙස හදුන්වා ඇත. තවද මෙම භුමිය අවට ප්‍රදේශය බුද්ධ පල්ලංක, බුද්ධ තොට්ටමි . බුද්ධ කර්‍ණි වශයෙන්ද හදුන්වාදි ඇති අතර වර්තමානයේදි එම නම් දේපළ ඔප්පු වල පවා සදහන් වේ.

  • පළමු වන පරාක්‍රමභාහු රජු විසින් පිහිටුවන ලද නයිනතිව් දෙමළ ශිලාලේඛනය(1153-1186)

arch01.jpg

යාපනය දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සොයාගන්නා ලද පැරණිතම දෙමළ ශිලාලේඛනයක් වන පොළොන්නරුවේ රාජ්‍ය කළ පළමු වන පරාක්‍රමභාහු රජු විසින් පිහිටුවන ලද නයිනතිව් දෙමළ ශිලාලේඛනය නාගදීපයෙන් සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරාවස්තුවකි.

 

පළමු වන පරාක්‍රමභාහු රජු විසින් නිකුත් කරන ලද නීති මාලාවක් අඩංගු ශිලාලේඛනයක් වන මෙය නයනතිවුහි පිහිටි නාගපුෂාණි අම්මාන් කෝවිල අසලින් සොයා ගෙන ඇත. මෙහි ඌරාතොට හෙවත් කයිට්ස් වරායේදි බිදෙන නැව් හා වෙළද බඩු පිළිබදව මහජනයා විසින් පිළිපැදිය යුතු නීති මාලාවක් අඩංගු වේ.

 

යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද මහාචාර්ය කාතිංසු ඉන්ද්‍රපාල මහතා විසින් දක්වන පරිදි මෙම නීති මාලාව කිසියම් වු උප පාලකයෙකු විසින් පනවන ලද්දක් නොව රජු විසින්ම සිය පාලනාධිකාරයට අයත් උතුරු පළාත සදහා පනවන ලද්දක් බව තහවුරු කර ඇත.

  • වල්ලිපුරම් රන් සන්නස (ක්‍රි.පූ 2 වන සියවස)

arch03.jpg

වල්ලිපුරම් යනු ශ්‍රීලංකාවේ උතුරු රාජධානීන්හි පෞරාණික අගනගරයක් වන අතර පේදුරු තුඩුව ඊට ආසන්නයෙන්ම පිහිටි නගරයයි. බෞද්ධ පූජනීය ස්ථාන පිළිබද තොරතුරු ඇතුලත් නම් පොතෙහි එය වල්ලිපුරම් “වැලි නගරය” යන අරුතින් දක්වා ඇති අතර බුද්ධ වර්ෂ දෙවන ශතවර්ෂය දක්වා දිවෙන වාර්ථාගත ඉතිහාසයක් ඇත. පේදුරු තුඩුව ආසන්නයෙන් මෑත කාලයේදී සොයා ගන්නා ලද ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයට අයත් අපර බ්‍රාහ්මීය අක්ෂරයෙන් රචනා කර ඇති වල්ලිපුරම් රන් සන්නසෙහි දැක්වෙන පරිදි වසභ රජ සම‍යෙහි ඉසගිරි නම් ඇමතියෙකු විසින් “නකදිව” හෙවත් නාගදීපය පාලනය කරමින් “බදකර අතන” නම් ස්ථානයෙහි “පියගුකතිස්ස” නම් විහාරයක් කරවා ඇති බවය. විහාර පරිශ්‍රය සම්බන්ධ නිශ්චිත තොරතුරු දැනගැනීමට නොමැති අතර අමරාවතී මූර්ති සම්ප්‍රද්‍රායට අනුව නෙළා ඇති ප්‍රසිද්ධ වල්ලිපුරම් බුදු පිළිමය හින්දු කෝවිල් භූමියක් කැනීමේදී සොයාගැනීමට හැකිවී ඇත.

  • ශිලාලේඛනයේ සිංහල පරිවර්තනය

විදේශිකයන් ඌරා තොටෙහි  ඇවිත් නැවති සිටිය යුතුය. ඔවුන් ආරක්ෂා කළ යුතුය. නොයෙක් වරාය වලින් ආ විදේශිකයන් ඇවිත් අපේ වරාය වල එක්රැස් විය යුතුය. අපට ඇතුන් හා අශ්වයින් ගෙනෙන නැව් බිදුණු විට හතරෙන් එක් කොටසක් භාණ්ඩාගාරයට ගතයුතුය. අනෙක් හතරෙන් තුන් කොටස අයිතිකරුවන්ට හළ යුතුය. භාණ්ඩ වලින් පිරි නැවක් බිදුණු විට ඉන් හරි භාගයක් භාණ්ඩාගාරයට ගත යුතු අතර ඉතිරි භාගය අයිතිකරැවන් ගත යුතුය. මෙම රෙගුලාසි ඉර හද පවතින තෙක් ක්‍රියාත්මක කල යුතුය. මෙම නියෝගය ගලෙහි හා තඹ පත්වල ගියවන ලදි. හතුරු  රාජපරම්පරාවන්ට ලැව් ගින්නක් බදු වු මුළු මහත් සිංහලයට අධිපති වු පරාක්‍රමභාහු රජු විසින් මෙම රෙගුලාසි සාදා නිකුත් කරන ලදි.

  • වල්ලිපුරම් රන් සන්නසෙහි සිංහල පරිවර්තනය

ශුභ සිද්ධියක් වේවා වහය (වසභ) මහා රාජ්‍යයාගේ රාජ්‍ය කාලයෙහි ඉසිගිරියෙහි අමාත්‍යයා නාගදීපය බුදිමින් (පාලනය කරමින්) බදකර අතන නම් ස්ථානයෙහි පියගුකතිස්ස නම් විහාරය කරවන ලද්දේය.

bottom of page