
අතිපූජ්‍ය රන්දොඹේ සෝමසිරි තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සියවස් 5කට වැඩි කාලයක් නාගදීපය පිහිටි භූමිය නිශ්චිතව හඳුනාගත නොහැකි වූ බෞද්ධයෝ කවර හෝ විහාරස්ථානයකදී වන්දනා කරන විට “භගිනි සුත මාතුලේහි....“ යනාදී ගාථාවෙන් නාගදීපය වන්දනා කලහ. මේ ගැන අවධානය යොමු කළ තෙරනමක් වූයේ අම්බලම්ගොඩ රන්දොඹේ මහා චේතිය පිරවෙනේ වැඩ විසූ රන්දොඹේ සෝමසිරි තිස්ස මහා ස්ථවිර පාදයන් වහන්සේය. උන්වහන්සේ නාගදීපය ඇතුළු උතුරේ හා නැගෙනහිර බෞද්ධ උරුමය සොයා යාමට අධිෂ්ඨාන කරගෙන දිවි දෙවැනි කොට ක්‍රියා කළහ.
තමන් පැවිදි උපසම්පදා වූ විහාරස්ථානයෙන් බැහැර වූ උන්වහන්සේ කවර බාධක පැමිණියද පළමුවෙන්ම නාගදීපය සොයාගෙන බෞද්ධයන්ගේ වන්දනාමානයට පත් කළ යුතු යැයි දැඩි සිතක් අති කරගෙන උතුරු ප්‍රදේශයට වැඩම කළහ. ඒ 1939 වර්ෂයයි. යාපනයට දුම්රියෙන් ගමන් කළ උන්වහන්සේ යාපන වාසීන්ගෙන් මේ පිළිබඳ විමසූහ. යම් යම් හෝඩුවාවල් ඔස්සේ කළ උන්වහන්සේ නාගදීපය යනු මුහුදින් වට වූ දිවයිනක් යැයි අනුමාන කොට කයිට්ස් දූපත ඔස්සේ නයිනතිවු දූපත කරා ගමන් කළහ. පසුව දිනකට එක් වරක් පමණක් ගමන් කරනා අබලන් බොට්ටුවකින් මුහුදු සැතපුම් 13ක් දුර ගෙවා නයිනතිවු දූපත වෙත වැඩම කළහ.
පසුව කිරිපලු නුග රුක අසල ප්‍රදේශවාසීන් කීපදෙනෙකුගේද සහය ඇතිව පොල් අතු මඩුවක් සාදා එහි වාසය කළහ. බොහෝවිට උන්වහන්සේගේ ආහාරය වූයේ කයිට්ස් සිට ගෙනා පාන් ගෙඩිය පමණි. තවද යම් දින වල ප්‍රදේශවාසීන්ගෙන්ද යම් යම් සුළු ආහාර ලැබුණත් අඩි හයක් පමණ උසින් හෙබි හැඩි දැඩි දේහයකින් සමන්විත වූ උන්වහන්සේට එම ආහාර ප්‍රමාණවත් නොවන්නට ඇත. නමුත් ලද දෙයින් සතුටු වීම ප්‍රගුණ කළ උන්වහන්සේට තමා මේ ඉන්නා දූපත, බුදු පහස ලද නාගදීප පුදබිමම බව සනාථ කර ගැනීමට වැඩි කාලයක් ගත නොවීය.
එතැන් පටන් උන් වහන්සේ නොයෙක් දුක් කම්කටොලු බාධක මැදින් නාගදීප පුදබිම ගොඩ නැංවීමේ කටයුතු ආරම්භ කළහ.
ලොකු හාමුදුරුවෝ අපවත් වෙති
නාගදීප පුදබිම බැතිමතුන්ට වන්දනාමාන කිරීමට භාග්‍යය උදා කර දුන් නාගදීප ලොකු හාමුදුරුවෝ විහාරය තවත් ගොඩනගා දියුණු කොට එහි භාරකරත්වය ධම්මකිත්ති ස්වාමීන් වහන්සේව පවරා උන්වහන්සේ තම අරමුණ සාක්ෂාත් කරගත් හෙයින් නාගදීපයෙන් පිටත් වී ගියහ. නමුත් උන්වහන්සේ වසරකට කීප වතාවත් නාගදීපයට වැඩම කළේ රස කැවිලි ත්‍යාග බෝගද රැගෙනය. ඒවා නයිනතිවු වැසියන් හට බෙදා දුන්නේ ඉතා සතුටෙනි.
1973 වර්ෂයේ අප්‍රේල් 22 දිනද උන්වහන්සේ තම අවසන් නාගදීප සංචාරය සඳහා යාපනයට වැඩම කළහ. එහිදී තදබල ලෙස රෝගාතුර වූ උන්වහන්සේව නාගදීප රෝහලටත් ඉන් පසු කොළඹ මහ රෝහලටත් ඇතුළත් කළ පසු අප්‍රේල් මස 25 වන දින අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහනෝත්සවය මහත් ගෞරවයෙන් යුතුව අප්‍රේල් මස 29 වන දින නාගදීපයේදී සිදු කෙරිණි. එය අවුරුදු 500කට පමණ පසු නාගදීපයේදී හිමි නමක් ආදාහනය කරන ලද පළමු අවස්ථාවයි.