
Nagadeepa and Sri Lanka Navy
රාජකීය ලංකා නාවික හමුදාව 1950 වසර්දී කරෙයිනගර් දූපතෙහි උතුරේ නාවික හමුදාව මූලස්ථානය ආරම්භ කරන ලදි. එය කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුර නම් විය. එතැන් පටන් නාවික හමුදාව හා නාගදීප පුරාණ විහාරය අතර සබඳතාවය ද ඇරඹින. 1955 අවුරුද්දේ බුරුමයේ රාජකීය නාවික හමුදාව හා රාජකීය ලංකා නාවික හමුදාව අතර සුහදතාව පළ කිරීමේ සංකේතයක් වශයෙන් අඩි 5ක් උස් වූ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුත් ස්වර්ණාලේපිත ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ලංකා නාවික හමුදාවට පිරිනැමින. එම බුද්ධ ප්‍රතිමාව නාගදීප විහාරයට පූජා කිරීමට තීරණය වූ අතර එම ප්‍රතිමාව මහා පෙරහැරකින් නාගදීප පුදබිමට වැඩම කරවන ලදි. එතැන් පටන් නාවික හමුදාව සහ නාගදීප විහාරය අතර සබඳතාවය ගොඩනැගින.
1958 වසරේ ඇති වූ ජාතිවාදී අරගලය ආරම්භ වීමත් සමඟ නාගදීප පුරාණ විහාරාධිපති නාහිමියන් ඇතුළු කුඩා සාමනේර හිමිවරුන්ට රැකවරණය ලබා දීමට නාවික හමුදාව ඉදිරිපත් විය. උන්වහන්සේලා එළාර නාවික කඳවුර වෙත කැඳවාගෙන ගොස් තුන් මසක පමණ කාලයක් රැකවරණය සලසමින් සිවුපසයෙන් උපස්ථාන කරන ලදි. ගිනි තබා, කඩා බිඳ දමා විනාශ කරන ලද නාගදීප විහාරය යළිත් ස්ථාපනය කිරීමේදී ද නාවික හමුදාවෙන් දෙනු ලැබුවේද නොමඳ සහයකි. ජාතවාදී අරගලයේ ගිනි සිළු නිවී, සංසිඳි යන තුරු පූර්ණ ආරක්ෂාවද සලසා දෙන ලදි. මින් පසුව වරින්වර යාපනයේ දේශපාලන නායකයන් විසින් මෙහෙයවන ලද සත්‍යග්‍රහ, උපවාස හා විරෝධතා දැක්වීම් අවස්ථාවලදී එළාර නාවික නිළධාරීන්ගේ ඇල්ම බැල්ම නාගදීප විහාරය කෙරෙහි යොමු විය. 1977 අවුරුද්දේ දේශපාලන පෙරළියත් සමඟ යාපනයේ ඇති වූ කලහකාරී අවස්ථාවේ එළාර නාවික හමුදා කඳවුරේ නාවික බලඇණියක් නාගදීපයට පැමිණ විහාරස්ථානයේ ආරක්ෂාව සලකා කඳවුරු බැඳීමට සූදානම් වුවද විහාරාධිපති නාහිමිපාණන්ගේ බලවත් ඉල්ලීම පරිදි ඔවුහු ආපසු එළාර කඳවුර වෙත ගියහ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවාව නාගදීප විහාරයට ආරක්ෂාව සැලසීමට පමණක් සීමා නොවීය. ත්‍රස්තවාදී උවදුර අනුක්‍රමයෙන් නැඟී එමින් පැවතිය දී 1982 අවුරුද්දේ තායිලන්තයේ බෞද්ධ මහෝපාසිකාවක විසින් සැරියුත් මුගලන් දෙනම සහිතව ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් නාගදීප පුරාණ විහාරයට පූජා කරන ලදි. මෙම ප්‍රතිමාවන් ගොඩබිම් මාර්ගය ඔස්සේ රිය පෙරහරින් කරෙයිනගර් නාවික හමුදාවේ යාත්‍රා පෙරහැරකින් නාගදීපයට වැඩම කරන ලදි. භික්ෂු ශාසනයේ විනයානුකූල පැවැත්ම උදෙසා ඉවහල් වන උපෝසථකර්ම සඳහා වූ සීමා මාලකයන් ඉදිකරවීමටද ඔවුහු උරදුන්හ. ඒ අනුව 1989 සැප්තැම්බර් 07 දා එවකට ශ්‍රී ලංකා නාවික හමුදාපති වූ වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා මහතා විසින් ඊට මුල්ගල තබන ලදි. නාවික හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ මෙම සීමා මන්දිරය 1992 වසරේදී එවක නාවික හමුදාපති ධූරය දැමූ ක්ලැන්සි ප්‍රනාන්දු මහතා (එතුමා එම වසරේම නොවැම්බර් 16 දින කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ගාලුමුවදොර දී අභාවයට පත්විය) මහා සංඝරත්නයේ පරිහරණය සඳහා පූජා කලේය. මෙය නාවික හමුදාව ශාසනය උදෙසා කළ විශිෂ්ටතම සේවාවක් විය. 1973 ජූලි 13 දින සම්මත කරන ලද බද්ධ සීමාව තුළ මෙසේ මන්දිරයක් ගොඩනගනු ලැබීම නිසා උපෝසථකර්ම වලදී ස්වභාවික පීඩාවන්ගෙන් වැලකී කටයුතු කිරීමට හැකියාව සැලසුනි.
කොටි ත්‍රස්තවාදය අනුක්‍රමයෙන් නැගී එමින් තිබියදී නාවික හමුදා විරුවෝ නාගදීප විහාරය වෙනුවෙන් ස්වකීය වටිනා තරුණ ජීවිත පූජා කළහ. නාගදීප විහාරයේ නාවික අනුඛණ්ඩයේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර තිබූ පී.සී.(ටෝනි ක්‍රාෆ්ට්) 110 නවික හමුදා යාත්‍රාව කරෙයිනගර් සිට පැමිණ නාගදීප තොටුපලට සේන්දු වූ මොහොතේ කොටි ත්‍රස්තවාදීන් සවිකර තිබු බොම්බයක් පිපිරී නාවික විරුවෝ තිදෙනෙක් දිවි පිදූහ.
1986 මාර්තු 03 දින සිදු වූ ප්‍රහාරයෙන් දිවි පිදුවෝ...
1. ප්‍රධාන සුළු නිළධාරී කේ.එම්. සුනිල් මහතා
2. සුළු නිළධාරී ඩබ්.ආර්.ඒ. සෝමපාල මහතා
3. බලනැවි ඩී.එච්.එස්. සිල්වා මහතා
1991 සැප්තැම්බර් 22 දින නාවික හමුදාවේ පී 143 අධිවේගී යාත්‍රාවෙන් නාගදීපයට පැමිණ ආපසු කරෙයිනගර් බලා යන විට අනලතිවු මුහුදේදී ත්‍රස්ථවාදී බෝම්බ පිපිරීමකට හසු වී දිවි පිදූ නාවික හමුදා විරුවෝ...
1. අණදෙන නිළධාරී ඒ. මහින්ද අබේසිංහ ගුණසේකර මහතා
2. ලුතිනන් එල්.පී.රංජිත් මහතා
3. සුළු නිළධාරී එච්.බී. ආරියරත්න මහතා
4. බලනැවි ඒ.බී. පද්මසිරි මහතා
5. බලනැවි ජී.ඩබ්.එස්.අබේරත්න මහතා
6. බලනැවි එස්.ඒ.ඒ.ලක්ෂ්මන් මහතා
එළාර නාවික හමුදා කඳවුර ඇතුළු නාවික අනුඛණ්ඩ වල විරුවන් ස්වකීය ජීවිත අවධානම නොතකා මැදියම් රැයේදී පවා නාගදීප විහාරයේ අවශ්‍යතා ඉටුකරලීමට කැපවුහ.
1984 වර්ෂයේ සිට මේ දක්වාම නාගදීප පුරාණ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය නාවික හමුදාවේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් සිදුකරගෙන එනු ලැබේ. නාවික හමුදාපතිතුමාගේ පටන් බෞද්ධ අබෞද්ධ සෑම නිළධාරියෙකුගේම සහභාගිත්වය හා උපකාරය මෙහිලා ලැබෙන බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය. කඨින පෙරහැරට සහභාගි වීමට නාවික හමුදාවේ උඩරට පහතරට නර්තන කණ්ඩායම් කොළඹ සිට පැමිණෙති. කඨින චීවරය රැගත් අලංකාර පෙරහැර නාගදීප දිවයින පුරා ගමන් කර විහාරස්ථානයට පැමිණීම සිදු වේ. පෙරහර නැරඹීම සඳහා ද්‍රවිඩ ජනතාව මඟ දෙපස රැස්ව සිටිති. ඔවුන්ට මෙය අපූර්ව චිත්තාකර්ෂණීය දර්ශනයකි. නාගදීපයේ පාසල් සිසු දරු දැරියන්ගේ නැටුම්ද මීට ඇතුළත් වේ. මෙසේ ජාතීන් හා ආගම් අතර සමගිය හා සම්බන්ධතාවය ගොඩ නැංවීමට නාගදීප විහාරය පදනම් කරගෙන නාවික හමුදාවෙන් ඉටු වන සේවය සුළුපටු නොවේ.
වසර ගණනක් ශ්‍රී ලංකා නාවික හමුදාපතිධූරය දරා දැනට විශ්‍රාමිකව සිටින අද්මිරාල් දයා සඳගිරි මහතාගෙන් නාගදීප පුරාණ විහාරයට මහඟු සේවවක් ඉටු විය. 1972 අවුරුද්දේ එළාර නාවික හමුදා කඳවුරේ වැඩ බාර ගැනීමෙන් පසුව නාගදීප විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ සමග එතුමා සබඳතා ගොඩනංවා ගත්තේය. 1977 ඇතිවූ දේශපාලන විපර්යාස සමග වූ කලබලකාරී සමයේ නාගදීප විහාරයේ ආරක්ෂාව සලකා නාවික හමුදා බලඇණියක් එවන ලදි. 1983 ජූලි කලබලකාරී වාතාවරණය යටතේ නාගදීප විහාරයට රැකවරණය සැලසීම සඳහා සියයකට අධික නාවික හමුදා බලඇණියක් පැමිණි අතර එතැන් පටන් මේ වනතුරු විහාරස්ථානයට රැකවරණය පමණක් නොව, වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුවද සලසා දෙති. මේ හැර ආහාර බුද්ධ පූජාව පැවැත්වීම, බුදු මැදුරු මළු මංපෙත් ආදිය පිරිසිදු කිරීම ආදී විහාරස්ථානයේ සියළුම කටයුතු සිදු කරන්නේද නාවික හමුදාව විසිනි.
එමෙන්ම නාගදීප විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහානායක හිමිපාණන් හදිසියේ රෝගාතුර වූ අවස්ථාවේ නාවික හමුදාව විසින් ඉටු කළ සේවය අති මහත්ය. උන්වහන්සේට හදිසි ප්‍රතිකාරයක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා පහසුකම් නාගදීප රජයේ රෝහලේ නොපැවතුනි. ත්‍රස්තවාදී තර්ජනය යාපනය නගරයෙන් මුළුමනින්ම බැහැරව නොතිබූ නිසා යාපනය මහ රෝහලේදී ආරක්ෂිතව ප්‍රතිකාර ලබා දීම තිබූ ඉඩකඩද අල්ප විය. එබැවින් අද්මිරාල් දයා සඳගිරි මහතා වහා තීරණයක් ගත්තේය. මෙතෙක් කිසිදු හිමි නමකට හෝ නාවික හමුදාවෙන් බැහැර පුද්ගලයෙකුට ලබා නොදෙන ලද නේවාසික පහසුකම් සහිතව කොළඹ නාවික හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබා දීමේ අවස්ථාව උන් වහන්සේට සලසා දෙන ලදි. මේ අනුව 2000 වසරේදී පළමුවරට උන්වහන්සේ නාවික හමුදා රෝහලට ඇතුළත් කරගෙන පුරා මාස 9කට ආසන්න කාලයක් එහිදී සියලු ආකාර සැප පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා දී තරමක හෝ සුවයක් ඇති කරදීමටද මූලික වූවේ නාවික හමුදාපති සඳගිරි මහතා ඇතුලු පිරිසයි. ඉන් පසු නැවත නාවික හමුදා රෝහලට ඇතුළත් කර අපවත් වන තුරුම ප්‍රතිකාර ලබා දෙන ලදි. එමෙන්ම උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඇතුළුව සත් දින දානමය පිංකම, තෙමස් දානය හා වාර්ෂිකව මේ දක්වා පවත්වාගෙන යන දානයන් සියල්ලම නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු වේ.
මේ අයුරින් අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් ශ්‍රී ලංකා නාවික හමුදාව නාගදීප පුරාණ රාජමහා විහාරය ආරක්ෂා කරගනු ඇත.